Tuesday 9 July 2019

Leaders are born not made: Politics and leaderships 1 and 2 - by Ajith Rohan J.T.F., Rome

දේශපාලනය සහ නායකත්වය (අංක 01)  


Gist of the article 

I, in these two episodes of the same argument dealt with the problem of "leaders are born not made". I’ve already written different short articles on the same problem, nevertheless, I’ve decided to write another article, even if it is concise, as a reaction to an abnormal current of thought that is spreading in Sri Lanka; that is to say, the leaders, according to them only those who have degrees and others are not.

නිමිත්ත

මෙම ලිපිය “නායකත්වය” යන්න සාමාන්‍ය අර්ථයෙන් (general sense) සළකා ඇතත් පොදුවේ දක්වා ඇති නිගමන සහ ක්‍රියාවලින් සියල්ල දාර්ශනික ඇසින් බලා ඉතාම සංක්ෂිප්තව දක්වා ඇත. මෙම ලිපියෙන් කරුණු කිහිපයක් විශ්ලේෂණය කරමු: මිනිසා, අධ්‍යාපනය, සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානය, පැරණි සහ නව බටහිර යටත්විජිත වාද සහ නායකත්වය. මේ අනුව, නායකත්වය යනු සහජ හැකියාවක් මිස එය පොත්පත් වලින් ඉගෙන ගන්න දෙයක් නොවන බව පෙන්වා දෙමු.

මිනිසා සහ ත්‍රිමාන සම්බන්ධතාව

අනුභූතික විද්‍යාවන්ට අනුව ලෝකයේ වසන සියලු මිනිසුන් එකම ජාන සම්භවයකට අයත් වෙති. නමුත් කිසිම පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට සම්පුර්ණ වශයෙන් සමාන නොවේ. මේ අනුව වෙනස යනු ගැලපෙන විශ්වීය නියමයකි. එනම්, සෑම පුද්ගලයෙක්ම තමා සහ අවට පරිසරය ගැන දැනුම ලබා ගෙන ඒ ඔස්සේ යම් යම් සත්‍යතා ක්‍රමානුකුලව නිර්මාණය කරගෙන ජිවත් වේ. මේ අනුව පුද්ගල දැනුම අන් අය සමග සම්බන්ධතා පැවැත්වීමේදී සාකච්චාවට සහ විවේචනයට බඳුන් වේ. ඒ ඔස්සේ පුද්ගල දැනුම පොදු සම්මුතීන් ඔස්සේ ක්‍රියා කිරීම සඳහා සකස් කරගන්න පුද්ගලයා උත්සුක වේ. එසේ නොවන කල සමාජ සම්බන්ධතා ගැටුම්කාරී වේ. කෙසේ නමුත්, සෑම පුද්ගලයෙක්ම සාපේක්ෂව සත්‍යය දන්නා නමුත් ඒ සත්‍යය ක්‍රමයෙන් එනම් ජිවිත කාලය පුරා සමාජ සම්බන්ධතා ඔස්සේ සාපේක්ෂව වර්ධනය කරගත යුතුවේ. ඉගෙනීම යනු ජීවිතය හා බැඳී පවතින අනිවාර්ය දෙයකි. එය පොත්පත් වලින් හෝ සහතික වලින් හෝ ලැබීමට හැකි හෝ එසේ ලැබීමට ස්වභාවිකව අනිවාර්ය හෝ වන කරුණක් නොවේ. උදාහරණයකට, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය ගැන කතා කරන විට, ආගන්තුකයා ඉතාම වැදගත් තැනක ලා සැලකුවේ මේ නිසාවෙනි. දුර පලාතක සිට එන පුද්ගලයා වෙනස් වූ දැනුම් පුන්ජර-මානයක් වේ. ඒ දැනුම සහ ප්‍රඥාව ආගන්තුකයාගෙන් ලබා ගන්නේ ඔහුට හෝ ඇයට ගෞරවයෙන් සලකමින් සහ ඇහුන්කන් දීමෙනි. මිනිසා ගැන කතා කරන විට සහජ ඥානය, ප්‍රඥාව, සහ දැනුමත් මේ සියල්ල එක්තැන් කරන චර්යා ධර්මත් ඉතාම වැදගත් වේ. ඒ වගේම විශ්වය (සියල්ල) සේම මිනිසා ද නිරන්තරයෙන් චලනය වේ. චලනය නැවතත් සෑම ක්ෂනයකම සිදුවන ශෛල වල ඇතිවී නැතිවීමත්, පොදුවේ ශාරීරික වෙනස් වීමත් නිරන්තරයෙන් සිහියෙන්, අවසිහියෙන් හා නින්දේදී පවා සිදුවන මනසේ චලනයත් වශයෙන් සැලකිය යුතු වේ. පොදුවේ ගත් විට මිනිසාගේ මේ මොලයේ, මනැසේ සහ ශරීරයේ ක්‍රියාවලිය තුන් ආකාරයකින් තුලිත කල යුතුවේ. එනම්, මිනිසාගේ මුලාකෘතික පෙළඹවීම (impulse) අභිප්‍රාය (desire) සහ ප්‍රඥාව-ඥානය-දැනුම (wisdom-intelligence-reason) අතර ගැලපෙන සුසංයෝගී ක්‍රියාවලියක් විය යුතුය. මේ මාන තුනෙන් මුලාකෘත පෙළඹවීම සෑම පුද්ගලයෙකුගේම (සාපේක්ෂව අනෙක් සෑම දෙයකම සේ) තැනුම් ඒකක සමග සාපේක්ෂව මියෙන තුරු බැඳී පවතී. උදාහරනයක ට පුංචි දරුවෝ කෑගසමින් හඬමින්, සිනාසෙමින් නිරන්තරයෙන් දුවන්නේ පනින්නේඅභිප්‍රායන් නිසා නොව මුලාකෘත පෙළඹවීම් නිසාවෙනි. මේ අනුව, අහාර පාන ගැනීම, බැඳීම් ඇති කර ගැනීම, ලිංගික කටයුතුවල දීම, ගැටුම්, සටන් ඇති කර ගැනීම, පුරාජේරු කීම සහ තම පුද්ගලික පැවැත්ම සඳහා පමණක් වන කටයුතු වෙත යොමුවීම ආදිය මුලාකෘත පෙළඹවීම් බව වටහා ගනිමු. ඒවගේම මුලාකෘත ඉතාම වැදගත් සේම ඒවා අතිශයින් ප්‍රභල ද වන බව දක්වමු. සිහියෙන් යුතුව තමා ගැන අධ්‍යනය කරන පුද්ගලයා, මුලාකෘත ඔස්සේ පමණක් කටයුතු කරන සතුන් සහ කුඩා දරුවන් සමග තමාව සම කර විමසා සිය බුද්ධිය සහ සදාචාරාත්මක පුහුණුව සහ ඒවායේ වැදගත්කම වටහා ගනී. නමුත්, ඉතාම වැදගත් කරුණ නම්, මේ මාන තුන අතර යහපත් සම්බන්ධතා ඇති වීමෙන් පමණක් යහපත් සිහිය ඇතිව ප්‍රඥාව තුල කටයුතු කරන පුද්ගලයින් වීම ට හැකි වීමයි. කුමන හෝ හේතුවක් නිසා හෝ මුලාකෘත පෙළඹවීම් යටපත් නො කළ යුතු වේ. ඒ වෙනුවට මුලාකෘත තේරුම් ගෙන ඒවා එක් එක් පුද්ගලයාගේ (individual), පොදු සාපේක්ෂ (social) සහ සමස්ත (world) ජිවිතයේ යහ පැවැත්මට යොදා ගත යුතුය. ලෝකයේ යහ පැවැත්ම එයයි. මේ කටයුතු හොඳින් පවත්වාගෙන යාමට සහ දියුණුව ඇති කිරීම සඳහා අපට නායකයින් අවශ්‍ය වේ.

මිනිසා සහ අධ්‍යාපනය

21 සියවස වන විට ලෝකයේ සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානයෝ ඉතාම සුක්‍ෂම අයුරින් එකිනෙකට බැඳී හෝ එසේ කටයුතු කිරීමට බලකර හෝ පොළඹවා හෝ ඇත. තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ ලෝකයේ සීමා බන්ධන බොහෝ දුරට ඛණ්ඩනය වූ බවක් පෙනුනත් එය එසේ සම්පුර්ණ වශයෙන් කෙසේ වත් සිදු නොවන බව ඉතාම පැහැදිලිව දැක්විය හැක. කෙසේ වෙතත් තොරතුරු තාක්ෂණය සමග බැඳුනු නව ලෝක ආර්ථික සහ දේශපාලන ක්‍රම දේශ සිමා අභිබවමින් කාටත් නව රැකියා අවස්ථා වෙත යොමුවීමට අවස්තාව උදා කර ඇත. මේ අනුව, අධ්‍යාපනය තවදුරටත් අන්තර්ජාතික ප්‍රමිතිකරනයට යටත් වීම කිසිදු බලකිරීමකින් තොරව ලෝකය පුරා සිදුවෙමින් පවතී. මේ නව ආර්ථික-දේශපාලන ප්‍රවාහය සදා කාලික එකක් නොවුවත් (දේශපාලන සහ ආර්ථික ලිබරල් වාද අවසන් වෙමින් පවතින මේ මොහොතේ ඒ මෙසේ සඳහන් කරමු)  ලෝකය ඒ සඳහා සිය ගැටළු ප්‍රශ්න ප්‍රාදේශීයව විසඳා ගනිමින් වීවෘත වී කටයුතු කරන්න උත්සහ ගන්න බවක් දක්නට ඇත. නව ආර්ථික සහ ලෝක දේශපාලනය මේ අනුව එකට අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වන බව පෙනේ. අනෙක් පැත්තෙන්, සාපේක්ෂ රටවල සංස්කෘතීන් (භාෂාව, දේශීය අධාපනය, සිරිත් විරිත්, ආගම්, විශ්වාස, හුරු පුරුදු ජන ජීවිතය ආදිය) මේ වෙනස ඉදිරියේ ගැටුම් ඇති කරගනිමින් පවතින බව ද ඉතාම පැහැදිලිව පෙනේ. මේ අතරේ දේශීය ප්‍රමිතින් අභිබවන මෙතෙක් ක්‍රියාත්මක වූ බටහිර අධ්‍යාපන යටත්විජිතවාදය ඉතාම පැහැදිලිව නව තොරතුරු තාක්ෂනය, නව ආර්ථික සහ බල අසමතුලිත බව තුල තව දුරටත් සිය බලය තහවුරු කරගනිමින් සිටි. මේ අනුව, දැනුම යනු බටහිර දැනුම ම වේ. සෑම පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනයකම යුරෝපා-ඇමෙරිකා එක්සත් ජනපද අධ්‍යාපන ක්‍රම සහ විෂයන් කුමන අයුරින් හෝ ඉගැන්විය යුතුය. සිංහල හෝ දෙමල හෝ බසෙකින් එන්නේ එම බටහිර දැනුම ම ය. මේ අනුව සුදුසුකම් තීරණය වෙන්නේ ද බටහිර ප්‍රමිතීන්ට අනුව ම බව පැහැදිලිව දැක්විය හැකිය.

1505 න් පසු ශ්‍රී ලංකාවේ එතෙක් පැවති, රාජකීයන්ට, ඇති හැකි අයට, කුල ආගම් දේශපාලනය මගින් වරප්‍රසාද ලත් අයට පමණක් සිමා වූ සාපේක්ෂ අධ්‍යාපන ක්‍රම වෙනස් වීමට පටන් ගත් බව අපි දනිමු. මේ අනුව ආගම් සහ බටහිර සංස්කෘතිය ප්‍රචාරය කර ස්ථාවර කිරීමට පල්ලි ඔස්සේ නව පාසල් ඇතිකරමින් අභියෝගයක් එල්ල කිරීමට විශේෂයෙන් පෘතුගීසින් සමත්විය. ඒ අනුව, කතෝලික ආගම ශ්‍රී ලංකාවේ දුප්පත් සහ පහල කුල ස්ථර වල ජනතාව අතරේ පැහැදිලිවම පැල පදියම් විය. ඒ අයුරින් ඒ දුප්පත් ජනතාවට අනන්‍යතාවක් ලැබුණු අතර ඔවුන්ගේ ජිවිත වලට වටිනාකමක් ද ලැබුණු බව දක්වමු. මින් අනතුරුව ඉංග්‍රීසින් අතිශයින් සූක්ෂ්මව සංවිධානය වෙමින් (divide and Rule method) ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානය සේම මහජන විශ්වාසය ඔවුන් වෙත රඳවා ගැනීමට සියල්ල සුදානම් කලෝය. 1948 ශ්‍රී ලංකාව බාර දුන්නේ ඉංග්‍රීසින්ගේ ආශිර්වාද ලත්, ඔවුන්ගේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකාවේ ඉපදුනු පුද්ගලයන්ට විය. ඔවුන් සිංහල ජාතිය, ශ්‍රී ලංකාව දුටුවේ ඉංග්‍රීසි සංකල්ප වලට අනුවය. එනම්, ඉංග්‍රීසින් දකින ආකාරයටය. මේ පුද්ගලයින් වැඩි දෙනෙක් ඉංග්‍රීසින්ගේ ආගම වූ එංගලන්ත සභාවේ අය විය. මේ තත්වය ශ්‍රී ලංකාවේ අද ද වෙනස් නොවී පවතී. ශ්‍රී ලංකාවේ කුමන පන්තියක, කුලයක හෝ ආගමක කෙනෙක් වුවත් ඉංග්‍රීසින්ගේ අධ්‍යාපනය සහ ඉංග්‍රීසි බසට වන්දනා මාන කරති. කෙසේ කුමන අයුරින් හෝ ඉංග්‍රීසි පන්නයේ අධ්‍යාපනයක් ලබා ගන්න ට උත්සහ කරති. උදාහරණයකට අප ප්‍රායෝගිකව දන්නා පරිදි ඉතාලියේ සිටින සිංහල දෙමව්පියෝ සිය දරුවන් එංගලන්තයේ කුමන හෝ දුප්පත් පාසලක තුන්වන පන්තියේ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනීම සඳහා යැවීමට හැමවිට ප්‍රාර්ථනා කරති සහ එසේ කරති (එංගලන්තයේ ඔක්ස්ෆෝර්ඩ් සහ කේම්බ්‍රිජ් වැනි විශ්ව විද්‍යාල බලවත් ධනවත් සහ වරප්‍රසාද ලත් ඉංග්‍රීසින්ගේ, ලෝක බලවතුන්ගේ, ධනවතුන්ගේ දරුවන් වෙනුවෙන් පවතින අතර සාමාන්‍ය ඉංග්‍රීසි ජනයාගේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන තත්වයෙන් සහ පන්තියෙන් පහල මට්ටමක පවතී). ඔවුන්ට බටහිර යනු එංගලන්ත මොඩලය වේ. විශේෂයෙන් ඉතාලියේ සිටින දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ ඉංග්‍රීසි යටත්විජිතව පැවතී රටවල හැම දෙනාම ඉතාලිය ඉංග්‍රීසි බසට මුල්තැනක් නොදීම ගැන මැසිවිලි කියති. අපි මේ සියල්ලෙන් පෙන්වන්න උත්සහ කරන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපනය නායකයින් බිහි කිරීමට අවකාශ සලසනවා වෙනුවට බටහිර ගැති, අනුකාරක, අන්ධ භක්තිය ඇති, හීනමානයෙන් සහ අපේක්ෂාභන්ගත්වයෙන් යුත් පිරිස් බිහි කරන බවයි. එසේම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අද ක්‍රියාත්මක වෙන්නේ පන්ති පරතරය අඩුකර ගැනීම ට සහ කුල ප්‍රශ්න වලට පිළිතුරු සොයන ස්ථාන වශයෙනි. නවක වදය යනු අද බටහිර නැති නමුත් බටහිරින් කොපි කරගෙන ක්‍රිකට් මෙන් ආදරෙන් පවත්වාගෙන යන බටහිරින් ලත් තවත් ව්‍යසනයකි. ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල පන්ති සටන් වල යෙදෙන පුද්ගලයින් වසර තුනක (European short degree) ඉගෙනීමෙන් පසු පතන්නේ යමක් නිෂ්පාධනය (to produce and to use creativity according to the available resources) කරන්නට නොව සේවා (services, teaching and clerical jobs) සම්බන්ධ රැකියාවක් සොයාගෙන ඉංග්‍රීසි (බටහිර) පන්නයට ජිවත් වීමටය. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක වසර තුනක උපාධියක් ලැබූ හැම දෙනා ගොවිතැන, රටේ කාටත් උසස් යයි කියවෙන අධ්‍යාපනයක් නැතිව හෝ කළ හැකි රැකියාවක් කිරීම අඩුවක්, අසාධාරණයක්, අගෞරවයක් සහ පොදුවේ ලැජ්ජාවක් සහ වේදනාවක් වශයෙන් සලකති. සිය දිවි හානි කර ගනිති. ඔවුන්ට ගැලපෙන වෙනත් රැකියාවක් සොයා ගැනීමට දැනුමක් පාසල් හෝ උසස් අධ්‍යාපන ආයතන වලින් නොලැබෙන අතර ඉතාම ලෙහෙසියෙන් කළ හැකි අපරාධ ඔස්සේ හෝ මුදල් ඉපයීමට පෙළඹීම නොවැලක්විය හැකි කරුණකි. මේ අනුව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ජනතාවගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වන ඉංග්‍රීසි-බටහිර සංස්කෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය ලිපිකරු, ගුරු සහ අනෙකුත් සේවාවන් සඳහා අවශ්‍ය සේවකයින් නිර්මාණය කරගැනීම සඳහා පුද්ගලයින් පුරුදු, පුහුණු කරන ස්ථාන වේ. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ජන ජීවිතය, රටේ සම්පත් ගැන, රට ගැන, රටේ භාවිත වන භාෂා ගැන (සිංහල, දෙමල, පාලි, සංස්කෘත ආදී) සංස්කෘතීන් (බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදී) ගැන දැනීමක් හැඟීමක් නැත. බටහිර පන්නෙට දෙන උපාධි සහතිකයක් පමණක් ඇති ජීවිතය, ජිවිත අත්දැකීම්, නිර්මානශිලි බව, රට ගැන, තමන් ජිවත් වන ප්‍රදේශය ගැන අවබෝධයක් නැති මෙවන් පුද්ගලයෝ ශ්‍රී ලංකාවේ නායකයින් වෙන්නට සුදුස්සෝ වෙන්නේ යයි යමෙකුට සිතේ නම් එය එලෝ විකාරෙන් මෙලෝ අත ගෑමකි.  

දේශපාලනය සහ නායකත්වය (අංක 02) 


නිමිත්ත

මෙම ලිපිය “නායකත්වය” යන්න සාමාන්‍ය අර්ථයෙන් (general sense) සළකා ඇතත් පොදුවේ දක්වා ඇති නිගමන සහ ක්‍රියාවලින් සියල්ල දාර්ශනික ඇසින් බලා ඉතාම සංක්ෂිප්තව දක්වා ඇත. මෙම ලිපියෙන් කරුණු කිහිපයක් විශ්ලේෂණය කරමු: මිනිසා, අධ්‍යාපනය, සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානය, පැරණි සහ නව බටහිර යටත්විජිත වාද සහ නායකත්වය. මේ අනුව, නායකත්වය යනු සහජ හැකියාවක් මිස එය පොත්පත් වලින් ඉගෙන ගන්න දෙයක් නොවන බව පෙන්වා දෙමු.

අධ්‍යාපනයේ පරමාර්ථය, පරිසරය සහ ප්‍රයෝගික ජීවිතය

මේ සංකීර්ණ ප්‍රශ්නය මේ කෙටි ජේද කිහිපයෙන් සංක්ෂිප්තව සාකච්චා කරන්න නොහැකි දෙයකි. නමුත් ඒ ගැන සාමාන්‍ය  අදහසක් (general idea) දීමට උත්සහ කරමි. ලෝකයේ සෑම සංස්කෘතියකම ශිෂ්ටාචාරයකම පැවැත්ම රඳා පවතින්නේ අත්දැකීම් තම සන්දර්භය තුල කතන්දර වශයෙන් කීම මගිනි. ඒ ඔස්සේ ප්‍රයෝගික දැනුම, ඒ දැනුමෙන් ඔබ්බට ගිය ලෙඩවීම, විදුලි, හෙන, වර්ෂාව, ගින්දර, සුලන් සහ මරණය, බිය, සැක, සංකාව වැනි හැඟීම් සහ ආවේග ප්‍රක්ෂේපනය කිරීමේ ක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට දැනුම සහ පදනම් වශයෙන් ලබා දුන්නේය. මෙසේ එම සංකීර්ණ තොරතුරු සන්නිවේදනය, අන්‍යෝන්‍ය සම්බන්ධතා ක්‍රියාවලිය, පුරුදු, සිරිත් විරිත්, නිෂ්පාධන සහ පරිභෝජන ක්‍රියාවලිය අනුගමනය කරමින් ජිවත්වන පිරිසක් සිටීමෙන් සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් ජිවත් වේ. එසේ නොවන කල ශිෂ්ටාචාර බිඳ වැටි නටබුන් බවට පත්වේ. මිනිසුන් නොවන සත්තු ද තම පැටවුන්ට සිය ජීවිතය පරිසරයට අනුව පවත්වාගෙන යාමට යම් හුරු කිරීමක් කරන බව අපි දනිමු. නමුත් මිනිසා පමණක් ශිෂ්ටාචාර නිර්මාණය කළේය. ඒ ඒ ශිෂ්ටාචාර පවත්වාගෙන යාමට සාපේක්ෂ ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ක්‍රමයෙන් රැස් කළේය.

ප්‍රධාන වශයෙන් භාෂාව මිනිසාගේ සංකීර්ණ නිර්මාණ අතර මුල්තැන්හි ලා සැලකිය යුතුය. ඒ අතිශයින් වැදගත් මිනිස් සන්නිවේදන මානය ඔස්සේ ක්‍රමයෙන් සිය මතකය සහ අත්දැකීම් අනාගත පරම්පරාවට ඉතිරි කර තැබීමේ මුලාකෘත පෙළඹවීම (as we know, DNA patterns are qualitative memories; thus, man also naturally has this impulse to record and to conserve his memories for future) සඳහා ලිවීමේ ආකෘති (අක්ෂර, වියරණ, තේරුම් ආදී...) නිර්මාණය කරගත්තේය. ඒ ඔස්සේ තවදුරටත් මිනිසාගේ සාපේක්ෂ පරිසරය සහ ආකාශය අතර සම්බන්ධතා-අත්දැකීම් ඒ ඒ ශිෂ්ටාචාරයේ සාමාජිකයින් දැනගත යුතු දැනුම වශයෙන් නියම කරගත්තේය. ඒ ගැන පර්යේෂණ කරමින් ඒවා සටහන් කරමින් ලෝකයේ විවිධ තන්හි විවිධ දැනුම් නිර්මාණය කලෝය. එවා ඒ ඒ පරිසරයට ගැලපෙන ඒ ඒ සංස්කෘතියට සිෂ්ටචාරයට වැදගත් වුවා සේම පොදු මුළු මිනිස් සංහතියටම වැදගත්වන දැනුම් ද තැනින් තැන මතු විය. ඒවා ආදියේ පටන් එකිනෙකා අතර බෙදා ගත්තෝය. මිට සමගාමිව ක්‍රමයෙන් දේශපාලනය, ආර්ථිකය සහ සංස්කෘතික අංශ සංකිර්ණව දියුනු වන විට පොදු පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන ඇති විය. මේ ඔස්සේ සංස්කෘතීන් සහ ශිෂ්ටාචාර වශයෙන් වගේම භාෂා පවුල් ආදී වශයෙන් විශාල දැනුම් සම්භාරයක් මිනිසා සිය සාපේක්ෂ අවශ්‍යතා සඳහා නිර්මාණය කරගත්තේය. මේ අනුව, ඒ ඒ සංස්කෘතිය තුල දැනුම නිර්මාණය කර ගැනීම මිනිස් අවශ්‍යතාවකි. එසේ නොවන කල දැනුම වෙනත් තැනෙකින් ලබා ගත යුතුවේ. එවිට ක්‍රමයෙන් සංස්කෘතීන් ඌනනය (fusion and absorption) වී යාම වැළක්විය නොහැක. මේ අනුව, අධ්‍යාපනයේ පරමාර්ථ අතර මුලික වශයෙන් සාපේක්ෂ සංස්කෘති සහ ශිෂ්ටාචාර නොනැසී පවත්වාගෙන යාම පවතින බව පසක් කර ගනිමු. මේ අතරේ සෑම සංස්කෘතියක්ම සිය සාපේක්ෂ පරිසරයට අදාළ දැනුම නිර්මාණය කර ගතයුතුය. ඒ ගැන පර්යේෂණ කල යුතුය. තිබෙන දේ වැඩි දියුණු කල යුතුය. එසේ නොවූ කල ඒ සංස්කෘතිය, ශිෂ්ටාචාරය දියවී යාම වැළැක්විය නොහැකි කරුණකි.

නායකත්වය සහ අධ්‍යාපනය

අපි මිට වසර 3 පෙර මේ ගැන ලියු කෙටි සටහනේ කතන්දරයක් ඇසුරෙන් නායකත්වය උපතින් එන දෙයක් බව පෙන්වා දුන්නෙමු. එනම්, මියා සහ පුසා අතරේ පවතින සම්බන්ධයේදී මියා පුසාට ඇති බිය නැති කර ගැනීමට සිය නිර්මාණකරු හමුවී සාකච්චා කර විසඳුමක් සොයා ගන්නට උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උහුගේ “මී” බව ආරක්ෂා කර ගනිමින් හැඩයෙන් සහ ද්‍රව්‍යයෙන් සිංහයෙකු බවට පත් කළත් පුසා දුටු විගස බියෙන් ගැසෙමින් පැන ගොස් සැඟවීමට තැත් කිරීම වැළක්විය නොහැකි දෙයක් විය. මේ අයුරින් මියා අලියෙකුගේ, කොටියෙකුගේ හැඩ ගත්තත් “මී” භාවය සමග එන මුලාකෘත පෙළඹවීම වූ පුසාගේ ගොදුරක් නොවී පැන යාම වැලක්විය නොහැකි දෙයක් විය. අනෙක් පැත්තෙන්, අපි හැම දෙනාම (අබාධිත සහ වෙනත් ගැටළු ඇති අය හැර) දුවන්න හැකි අය වුවත් මීටර් 100 තත්පර 9-10 කින් දුවන්න හැකියාව ඇති අය උපතින්ම පැමිණ දිගින් දිගට ව්‍යායාම කරමින් ඒ තමා තුල ඇති හැකියාව වර්ධනය කරගන්නෝ වෙති. මෙසේම, සංගීතය, රංගනය, නර්තනය, චිත්‍රණය, කථනය, රචනය ආදී දේටත් ඒ ඒ සාපේක්ෂ හැකියාවට ගැලපෙන තත්වයෝ උපතින්ම ලබා ගෙන එන්නෝ වෙති.

නමුත් දැනට පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වල උගන්වන ගණිතය පුනරුච්චාරණය කරන ක්‍රම, සූත්‍ර සහ ප්‍රමේයයෝ පමණක් බැවින් ඒ සියල්ල  මතකයේ තබාගෙන විභාග සමත්වීම හැම දෙනාටම එක්තරා දුරකට කල හැකි දෙයක් බව ද දැක්විය හැක. මේ අනුව මතකය සහ පුනරුච්චාරණය ඔස්සේ සිදුවන ඉගැන්වීම් ක්‍රම නිසා ඕනෑම කෙනෙකුට සංගීතය, නාට්‍යය, නර්තනය ආදී දේ පවා ඉගෙනීමට හැකියාවක් ඇතත් ඒ කිසිවෙකුත් සංගීතඥයෝ හෝ ගණිතඥයෝ හෝ නොවේ. ඔවුන් හුදු නිර්ණය කළ පොදු පුනරුච්චාරණ දැනුම ඔස්සේ විභාග සමත්වී සහතික ලද්දෝ පමණි. මේ අනුව, උපාධි සහතික තිබීම නායකත්වය තිබෙන අයෙකු වීමට සමාන නොවන බව ඉතාම පැහැදිලිව වටහා ගත හැක.   

අපි පුර්වයෙන් දැක්වූ පරිදි යමෙක් උපතින් නායකයෙක් ව ඉපදුනු විට ඔහුගේ/ඇයගේ අදාළ චරිත ලක්ෂණ ඉතාම පැහැදිලිව ඔහුගේ/ඇයගේ එදිනෙදා ක්‍රියාකාරී ජීවිතයේදී කිසිදු ආයාසයකින් තොරව පෙන්නුම් කෙරෙන්නේය. නමුත්, අප දන්නා පරිදි, දැනුම යනු අපගේ නිර්මාණ නිසා නායකයෙක්ව ඉපදුනත් අදාළ සාපේක්ෂ දැනුම ලබා ගැනීමට උත්සුක වීම ඉතාම වැදගත් කරුණකි. එය පාසලකින්, උසස් අධ්‍යාපන ආයතනයකින් ලබන දැනුමක් ම විය යුතු නැත. අදාළ පොත් පත් කියවීම, ගැලපෙන පුද්ගලයින් සමග සාකච්චා කිරීම, වාද විවාද කිරීම, ආදී බොහෝ ක්‍රම මගින් සිය හැකියාවන් දියුණු කර ගත හැක. එසේම සංගත අයුරින් තමන්ටම දැනුම නිර්මාණය කර ගැනීම ට ද හැකිය. මේ ක්‍රම සොයා ගැනීම ද නායකත්වයේ ලක්ෂණයක් වශයෙන් අපි දකිමු. ඒ වගේම ජීවිතය යනු අනිවාර්යයෙන්ම ඉතාම හොඳම උසස් අධ්‍යාපන ආයතනයයි. තම ජීවිතය සිහියෙන් යුතුව ගෙවන පුද්ගලයා සැම නිමේෂයකම නව දැනුම සොයා ගනී. මේ අනුව, ජිවිත අත්දැකීම් නායකත්වය සඳහා හොඳ අත්වැලක් වන බව පැහැදිලිව පෙනේ. එසේම තමා ජිවත්වන සමාජයට, පරිසරයට සංවේදී පුද්ගලයෙක් යහපත් නායකයෙක් තුල සිටි. ඔහු/ඇය ජාතිය, ආගම, කුලය පන්තිය ආදී පටු බැදීම් හොඳින් වටහාගෙන ඒ මුලාකෘත පෙළඹවීම් පොදු යහපත සඳහා යොමු කරන්නට දන්නේය.

කෙසේ වෙතත් ඵලදායි නායකත්වය සඳහා බහුවිධ හැකියා සහ පුළුල් දැක්මක් අවශ්‍ය වේ. මෙහිදී බහුවිධ හැකියා සේම විෂයාන්තර දැනුම (interdisciplinary, multidisciplinary) ද නායකත්වයට ඉතාම වැදගත් දෙයකි. 21 සියවසේ නායකයෙක් වීම සඳහා ඉතාම පැහැදිලිව ඵලදායි ප්‍රභල චරිතයක් සේම නිර්මාණශීලි, ගැලපෙන සහ අදාළ නවතාවනට විවෘතව, නිරන්තර ඉගෙනීමේ සහ පර්යේෂණ කිරීමේ නිරත වෙමින් විකල්ප මාන ඔස්සේ තම වගකීම් සහ යුතුකම් ඉතාම ඉහලින් සහ ඵලදායි අන්දමින් සාක්ෂාත් කරගැනීමේ උනන්දුවෙන් කටයුතු කරන්නෙක් විය යුතුය. ඒ වගේම තමන් කරන දෙයින් සතුටට පත්වන කෙනෙක් විය යුතුය.

අධ්‍යාපන සහතික සහ නායකත්වය 

ලෝක ඉතිහාසය වශයෙන් අප හඳුන්වන කරුණු විවිධ නායකයින්ගේ තීරණ සහ ක්‍රියාකාරිත්වයේ සලකුණු වේ. ඒ හැම නායකයෙක්ම හුදු අධ්‍යාපන සහතික වලට කිසිදු වටිනාකමක් නොලැබෙන, තීරණාත්මක අවස්තාවලදී නිවැරදි තීරණ ගැනීමේ ප්‍රතිභා ඥානයෙන් යුතු අය විය. හරි හෝ වැරදි හෝ වශයෙන් තීරණය කිරීම පසෙක ලා තීරණාත්මක අවස්ථාවල ගැලපෙන සහ අදාළ තීරණ ගැනීමේ හැකියාව නායකයෙකුගේ සැබෑ සාරය වේ.  මෙහිදී නායකත්වය යනු බහුවිධ තත්වයන්ගේ (different qualities) එකතුවෙන් නිමවී ප්‍රකාශවන ප්‍රභල සහ සංවේදී ක්‍රියාකාරී-තත්වයකි. නමුත්, දේශපාලනයේ දී හෝ ආයතනයකදී හෝ වෙනත් අදාළ අවස්ථාවකදී හෝ නෛතික වශයෙන් ලැබෙන බලය අනුව ක්‍රියා කරන තැනැත්තා උපතින් නායකයෙක් විය යුතු නැත. ලෝකයේ ඕනෑම දේශපාලන, සමාජ, ආර්ථික සංස්කෘතික අංශයක වැටුපට පමණක් වැඩකරන එවන් පුද්ගලයෝ එම නීති රීති මගින් ආරක්ෂා වී ඇති අතර ඔවුන්ගේ ක්‍රියා එම සීමාවල පමණක් ක්‍රියාත්මක වේ. නමුත් උපතින් එන නායකයා ඉතාම පැහැදිලිව මේ සියලු පටු සිමා අභිබවා යන්නෙකි. නමුත් සිමා කඩමින් සිතළුවක් කරන්නෙක් ද නොවේ. එවන් උසස් නායකයෝ අධ්‍යාපනයෙන් නිර්මාණය නොවේ. ඔවුහු උපතින් ම නායකයෝ වෙති.

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".